Home / ඉන්දීවරී හේරත් / Oh! Baby (2019) Review in Sinhala| “වයස යනු ඉලක්කමකි”

Oh! Baby (2019) Review in Sinhala| “වයස යනු ඉලක්කමකි”

Oh! Baby (2019) Movie Review in Sinhala| “වයස කියන්නෙ ඉලක්කමක් විතරයි”

හැත්තෑ හැවිරිදි වියපත් කාන්තාවක් වන ‘බේබි’ ජීවත්වන්නේ තම පුතු සහ ඔහුගේ පවුලත් සමගය. ඇය ඇගේ ළමා වියේ මිතුරා වන චන්ටි සමඟ හවුලේ ආපනශාලාවක් පවත්වාගෙන යන්නී ය. ළමා කාලයේ සිටම දක්ෂ ගායිකාවක් වීමට පෙරුම් පිරුවද ඇගේ එම සිහිනයට කිසිදා ඉඩක් ලැබුනේ නැත. යුද්ධය නිසා සැමියාද අහිමිව කුඩා දරුවා සමග තනිවන බේබි එතැන් සිට ගායිකාවක් වීම පසෙකලා ජීවන සටනට උරදෙන්නී අවසන තම පුතු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු බවට පත් කීරීමට සමත් වූවාය.
තම සිහිනය බොඳ වුවද ඇය තම මුණුපුරාගේ ගායක සිහිනය බොඳ වීමට ඉඩ නොදෙමින් සෑම විටම ඔහුව ධෛර්යමත් කරයි. නැන්දම්මලාගේ චිරාගත  සම්ප්‍රදානුකූල පිලිවෙත අකුරටම පිළිපදිමින් සිය ලේලිය පිසින ආහාරයක ගුණ දොස් එහි සුවඳින් කීමට තරම් හැකියාවකි බේබිට තිබෙන්නේ.

නමුත් එක්වරම ඇගේ ජීවිතය උඩු යටිකුරු කරවන සිදුවීමකට බේබි මුහුණ දෙයි. සල්පිලක ඇති ඡායාරූප ගන්නා ස්ථානයකට හැත්තෑ හැවිරිදි මැහැල්ලක් ලෙස ඇතුලුවන බේබි එයින් පිටතට පැමිණෙන්නේ විසි හතර හැවිරිදි ස්වාති ලෙසයි. සිව් විසි හැවිරිදි යුවතියක ලෙස එදා ඇයට අත්විඳීමට නොහැකි වූ ජීවිතය විඳීමත් ඇයට සැබෑ කර ගැනීමට නොහැකිවූ සිහින සැබෑ කරගැනීමටත් උත්සාහ දරන බේබි නොහොත් ස්වාතිගේ ගමන එසේ ඇරඹෙයි.

ස්වාති නොහොත් බේබිගේ තරුණ විය වෙනුවෙන් පණ පො⁣වන්නේ සුරූපී සමන්තා අක්කිනේනි විසිනි. සමන්තා නිසැකයෙන්ම ඇයගේ මන මෝහනීය, සුරතල් රංගනය තුළින් ප්‍රේක්ෂකයා මන්මත් කරවා ඇත. ළඟ අහලක සිටියානම් අල්ලා බදාගෙන සිපගැනීමට සිතෙනා මට්ටමකට ඇය තම රංගනය තුළින් ප්‍රේක්ෂකයා රැගෙන යයි. ගතින් විසි හතර හැවිරිදි තරුණියක වුවද සිතින් හැත්තෑ වියැති වියපත් බේබිගේ චරිතය තුළින් සමන්තා තම නාමය අමරණීය ලෙස චිත්‍රපටය නරඹන්නන්ගේ මතකයේ සටහන් කිරීමට සමත් වන්නීය. එක් වරක් බැලූ පසු තවත් දෙවරක් බැලීමට සිතෙන තරමටම ඇගේ රංගනය සුමටය, එසේම තියුණුය. රංගස්තලම් චිත්‍රපටියේ දුටු ගැමි යුවතියටත් මජිලි චිත්‍රපටියේ සිටි අර්ධ නාගරික පරිසරයක දිවිගෙවන යුවතියටත් සම්පූර්ණයෙන්ම පරිබාහිරව යමින් ඇය ඉදිරිපත් කරන මෙම රංගනය තුළින් නිළියක් ලෙස චරිතයන් තුළට ආරෝපණය වෙමින් තම සම්පූර්ණ අවධානය එම චරිතය කෙරෙහි යොමුකර ගැනීමට ඇයට ඇති හැකියාව මනාව පෙන්නුම් කරයි.

තම පුද්ගලික ජීවිතයත් රංගන ජීවිතයත් එකසේ සමබර කරගැනීමට සමත්වුනු සමන්තා නිළියක් වීමට තීරණය කිරීමට පසුව ගත් බුද්ධිමත්ම තීරණය අක්කිනේනි පවුලෙන් විවාහයක් කරගෙන තම පුද්ගලික ජීවිතයද තැන්පත් කර ගැනීම බව නිසැකය. ඇගේ සුරූපී පෙනුමත්, අති දක්ෂ රංගන හැකියාවත් සමග මුසු වුනු අක්කිනේනි නාමය ඇයව ආධාරකයක් වෙමින් ඇයව පරිපූර්ණත්වයට පත්කර තිබෙයි.

සෙසු චරිත නිරූපණය කල නළු නිළියන් අතරින් චන්ටි ලෙස රංගන ⁣දායකත්වය ලබා දුන් රාජේන්ද්‍ර ප්‍රසාද් ඉතා සුවිශේෂී ලෙස ප්‍රධාන චරිතයට මනා පිටිවහලක් ලබා දෙන ආකාරයේ රංගනයක් ඉදිරිපත් කරනු ලබයි. බොහෝ කලකට පසු රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ හොඳම මට්ටමේ රංගනයක් Oh! Baby තුලින් දැකීමට පුලුවන. එසේම බේබිගේ මහාචාර්ය පුතු ශේඛර් ලෙස රඟපෑ රාඕ රමේශ් සහ බේබිගේ මහලුවිය නිරූපණය කරන ලක්ෂ්මී පිළිබඳවද කිසිසේත්ම ලඝුකොට තැකිය නොහැක. ඔවුන්ගේ අතිවිශිෂ්ඨ දායකත්වය Oh! Baby චිත්‍රපටිය සාර්ථකත්වයේ හිණිපෙත්තටම ඔසවා තැබීමට සමත්වී ඇත.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරතිබෙන්නේ නන්දිනී රෙඩ්ඩි විසිනි. කොරියානු විත්‍රපටියක් වන Miss Granny හි නිල ප්‍රතිනිෂ්පාදනය වුවද එය සම්පූර්ණයෙන්ම ඉන්දියානු ආරයට පරිවර්තනය කරගැනීමට ඇය සමත්වී තිබීම අතිශය අගය කළයුතු කරුණකි. සැබැවින්ම ඒ ගැන නොදන්නා කෙනෙකුට ‘මෙය නම් වෙනත් විදේශීය චිත්‍රපටියක් මූලික කරගනිමින් නිපදුන චිත්‍රපටියක්ය’ යන්න කිසිසේම නොහැඟෙන පරිදි සමන්තා මුලසුනෙහි සිටින පරිද්දෙන් සිද්ධීන් පෙල ගස්වා ගැනීමට නන්දිනී රෙඩ්ඩි දක්ෂවී ඇත.
මුල් අර්ධයත් දෙවන අර්ධයේ වැඩි ප්‍රමාණයකුත් සැබෑවටම හාස්‍යය උපදවන අයුරින් නිර්මාණයවී ඇති අතර එක් වරම හාස්‍යය අවසන්වී ප්‍රේක්ෂකයාගේ දෙනෙතට කඳුලු නංවන තරමට චිත්‍රපටිය හැඟීම්බරවී අවසන්වේ. මුලු චිත්‍රපටිය පුරාම දැකිය හැකි කැපීපෙනෙන ලක්ෂණය වන්නේ සමන්තා තම මුහුණෙන් සිදුකරන ඉරියව් සහ හැඟීම් ප්‍රකාශනයයි. සමන්තා කෙතරම් දක්ෂ වුවත් අධ්‍යක්ෂවරිය ලෙස අැයට වඩා දක්ෂ වෙමින් චිත්‍රපටියට ඇවැසි ලෙස සමන්තාව හසුරුවා ගැනීමට සමත්වීමම විශාල ජයග්‍රහණයකි. මුලු චිත්‍රපටියේම සාර්ථකත්වය ඒ මත රැඳී පවතිනබව නන්දිනී රෙඩ්ඩි මනාව අවබෝධ කරගෙන සිටි බවකි පෙනී යන්නේ.

සංගීත නිර්මාණය සිදුකර ඇත්තේ Mickey J. Meyer විසිනි. ඉතාමත් සෑහීමකට පත්විය හැකි ආකාරයේ ගීත කිහිපයක්ම චිත්‍රපටියේ අඩංගුවී ඇත.

ඉන්දියානු රුපියල් කෝටි දහයක වියදමෙන් නිර්මාණය වුනු Oh! Baby චිත්‍රපටිය තම ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි හතලිහක් ලබා ගෙන තිබේ. ඉතා ඉහල විචාරක ප්‍රසාදයක් (IMDb රේටින් නොවේ) ලබා ගත් Oh! Baby චිත්‍රපටිය නොමඳ රසික ප්‍රසාදයද දිනාගෙන අැත.

ගැහැණියකගේ දිවියේ ඇති දුෂ්කරතා පිළිබඳවත්, පවුල සහ දරුවන් වෙනුවෙන් තම සියලු ආශාවන් කිසිදා එළියට නොපැමිණෙන ලෙස සඟවා තබාගන්නා මව්වරුන් පිළිබඳවත්, දෙමාපියන්ගේ වටිනාකම පිළිබඳවත් සාම්ප්‍රදායික ක්‍රමයට පටහැණිව යමින් සිදුකරනු ලබන විමසා බැලීමක් ලෙස Oh! Baby හැඳින්වීමේ වරදක් නැතැයි සිතමි. කෙතරම් කරදඬු උස්මහත් වුවත් දෙමාපියන්ට තම දරුවන් සදාකාලිකවම කුඩාවුන් බව පැවැසෙන ප්‍රබල පණිවිඩයක් සේම කෙතරම් වියපත් වූවද තම දෛවයට අභියෝග කරමින් එය හඹායා යුතු බවත් පැවසෙන සරල,සුගම සිනමා කාව්‍යයකි Oh! Baby.

අවවාදයයි: ප්‍රවේශම්වන්න!!!! ඔබ සමන්තාට වශීවනු නිසැකයි.

Oh! Baby!!
Follow your Dreams Baby!!!
Chase your Destiny Baby!!!!
Age is just a number Baby!!!!!
Don’t be late Baby!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!