Home / ඉන්දීවරී හේරත් / Jackpot(2019) Movie Review in Sinhala| කිරි මුට්ටිය ගඟේ ගියා…

Jackpot(2019) Movie Review in Sinhala| කිරි මුට්ටිය ගඟේ ගියා…

අදින් වසර බොහෝ ගණනකට පෙර වාසය කළ එක් දිළිඳු පුද්ගලයෙකු හට අපූරු, පෞරාණික බඳුනක් හමු වෙයි. එම බඳුනේ ආනුභාවයෙන් අන්ත දුගියෙකුව සිටි ඔහු කෙටිකලක් තුල මහා ධනවතෙක් බවට පත්වෙයි. එක් දිනක් රාත්‍රියේ නිවසට ඇතුළු වන පිරිසක් එම බඳුන සොරකම් කරගෙන පලා යති. නමුත් ඔවුන් අතින් බඳුන දිය පිරී ගලා යන ගංගාවකට වැටෙන අතර එය ගංගා ජලයද සමග පහළට ඇදී යයි.

මේ 1999 වසරයි. සහල් මෝලක් හිමි ව්‍යාපාරිකයෙක් වන රායප්පන් මාර්ගයට යාබද තේ කඩයක බංකුවකට බරදී බීඩියක් උරන්නේ කිසිවක් නොමැති අනාථයෙකුගේ ස්වභාවයෙනි. ඔහු අසල බිම වාඩිවී සිටින කොලුගැටයා තම මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතා කරමින් තේ වීදුරුවක් වෙනත් දෙයක් බවට පත්කිරීමට උත්සාහ දරයි. හැකි නම් තමාව වෙනත් ස්වරූපයකට පත්කරන මෙන් රායප්පන් කොලුවාට අභියෝග කරන අතර කොලුවාද අභියෝගය බාර ගනියි. ඒ අතර තවත් නාගරික නිවසක වෙසෙන කුඩා පිරිමිදරුවෙක් මල් පෝචිචියක සිටවූ කොළ පිරුනු ගසක් දෙස බලා සිටින්නේ එයින් සල්ලි කොළයක් මතුවන තුරුය. ඔහු නමින් රාගුල් ය.

දැන් 2019 වසරයි. ගසකින්  සල්ලි කොළ මතුව තුරු බලාසිටි රාගුල් උස්මහත් වුනු තරුණයෙකි. දිනක් ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගොස් හසුවන ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ අක්ෂයා නැමැති තරුණියකි. අක්ෂයා ජීවත්වන්නේ කුඩා කාලයේ සිටම උදව් උපකාර කරමින් තමාව රැකබලාගත් මාෂා නමැති කාන්තාවක් සමඟය. මාෂා සහ අක්ෂයා එක්ව සුලු ව්‍යාපාරයක් කරමින් ජීවිකාව පවත්වාගෙන යති. එක් දිනක් හදිසියේම ඔවුන්හට අරුම පුදුම බඳුනක් පිළිබඳව අසන්නට ලැබෙයි. එතැන් සිට ඔවුන්ගේ එකායන අරමුණ වන්නේ එම බඳුන සොයා ගැනීමයි. අක්ෂයා, මාෂා සහ අහඹු ලෙස ඔවුන්ට එකතුවන රාගුල්ගේ වීර චාරිකාව එතැන්සිට ඇරඹෙයි.

පළමුවෙන්ම කිවයුත්තේ මෙය විනෝදාස්වාදය ලබා දීම ඒකායන අරමුණකර ගනිමින් නිමැවූ තරමක් දුරට ක්‍රියාදාම දෙසටද නැඹුරු වූ family entertainment ආකාරයේ චිත්‍රපටයක් බවයි. සමාජයට යම් ආදර්ශයක් හෝ කාලීන සමාජ ප්‍රශ්නයක් පිළිබඳව හෝ කතාබහ කරනවාට වඩා ඉතා සරල තේමාවකින් යුතු සැහැල්ලු චිත්‍රපටයක් නිර්මාණය කිරීම තම අභිප්‍රාය වූ බවත් තමන්ට අවශ්‍ය වූයේ චිත්‍රපටය අවසානයේ සතුටින් විසිරීයන ප්‍රේක්ශකාගාරයක් දැකීම බවත් jackpot හි අද්‍යක්ෂවරයා පවසා තිබුනි.

මෙහි ප්‍රධාන චරිත දිවිත්වයම කාන්තා චරිත වීම විශේෂත්වකි. අක්ෂයා ලෙස ජ්යෝතිකාත් මාෂා ලෙස ප්‍රවීන නිළි රේවතීත් දායක වී සිටිති. ඔවුන් දෙපලට අමතරව යෝගි බාබු, රාජෙන්ද්‍රන්, මනෝබාලා,ආනන්දරාජ්,සමුතිරකානී ඇතුලු තවත් නලු නිළියන් රැසක් jackpot සඳහා තම දායකත්වය ලබාදී ඇත.

රංගනය පිළිබඳ සැලකීමේදී ජ්යෝතිකාගේ රංගනය සුවිශේෂී ලෙස කැපී පෙනෙයි. තම සැමියා වන සූර්‍යාගේ සිංගම් චිත්‍රපට ත්‍රිත්වය සිහිපත් කරවන ආකාරයේ සටන් ජවනිකා කිහිපයක් සඳහාම ඇය පෙනීසිට ඇති අතර එමගින් මුළු චිත්‍රපටයම තම ආධිපත්‍යට යටත් කර ගැනීමට ඇය සමත්වී ඇත. සැබවින්ම මෙවර නම් ජ්යෝතිකා තම සැමියාද ඇතුළු සමස්ත නළු පරපුරටම අභියෝග කර ඇති බවකි පෙනී යන්නේ. ‘සියල්ල කළ හැක්කේ පිරිමින්ට පමණක්ද!’ යන්න ඇය තම රංගනය හරහා මතුකිරීමට උත්සාහා දරා ඇති සෙයකි.

රේවතී ඉදිපත් කරන්නේ ජෝතිකාට නොදෙවෙනි මට්ටමේ රංගනයකි. සබැවින්ම එම චරිත ද්විත්වයම ඔවුන් දෙදෙනා ඉල්ලක්ක කර ගනිමින් නිර්මාණයවී ඇති සෙයකි. මනා ගැළපීමක් ඔවුන් දෙදෙනා අතර පවතින අතර චිත්‍රපටයේ ඉදිරි ගලායෑම කෙරෙහි එය මනා පිටිවහළක් සපයා ඇත.

ආනන්දරාජ් ද්විත්ව චරිත නිරූපණය කරනු ලබන නමුත් ඔහු 100% සාර්ථක යැයි කිව නොහැක. රාජේන්ද්‍රන්ගේ චරිතයේ එතරම් විශේෂත්වයක් නොමැත. දමිළ සිනමාවේ කිරුලු පලන් විකට රජෙකු ලෙස සැලකිය හැකි යෝගි බාබුගේ චරිතයද එතරම් සාර්ථක ලෙස ගොඩ නගා නොමැත. නමුත් ඔහුගේ රංගනය චිත්‍රපටයට ලබාදෙන්නේ ආලෝකයකි. යෝගි බාබු විසින් විකට දෙබස් පවසනවාට වඩා සෙසු චරිත විසින් ඔහුගේ බාහිර ස්වරූපය විහිලුවට ලක්කරමින් පවසන දෙබස් නිසා යෝගි බාබුට කෙසේ වෙතත් ප්‍රේක්ශකයා අපහසුතාවයට පත්වීම නම් වැලැක්විය නොහැක.

ඕනෑම පිරිමි නළුවෙක් ප්‍රධාන්ම චරිතය නිරූපනය කරන චිත්‍රපටයක දැකිය හැකි දෙබස්, සටන්, ඉරියව්, ද්විත්වාර්ථ දනවන වචන ආදී සියල්ලම මෙම චිත්‍රපටයේද අසන්නට දකින්නට පුලුවන. එසේම මෙවැනි රංගනයක් සඳහා ඉදිරිපත් කල හැක්කේ ජෝතිකාටම පමණක් බවද පුද්ගලිකව විශ්වාස කරමි. ඇය දමිළ සිනමාව තුළ සුවිශේෂී වන්නේද ඒ නිසාමය.

Jackpot අද්‍යක්ශනය කර තිබෙන්නේ s.කල්‍යාන් විසින්ය. සංගීත ඉර්මාණය සෑහීමකට පත්විය හැකි මට්ටමක නොමැති අතර පිටපතේ ඇත් සිලු සුලු අඩුපාඩු කිහිපයක් ඇරෙන්නට වෙනත් සැලකියයුතු මට්ටමේ අඩුපාඩුවක් නොමැති චිත්‍රපටයකි Jackpot.

චිත්‍රපටය අවසානවන තෙක්ම නැරඹූ පසුව ‘මෙහෙමත් ගෑණු’ යැයි සිතීම නම් නිසැකවම සිදුවනු ඇත.

One comment

  1. patta sinhala sube dannanko,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!